P&S එකේ කෑම ගනිමින් සිටි ඥානසාර හිමිට කලන්තයක් – ජනාධිපති නීතිඥ අනුර මැද්දෙගොඩ

බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් අධිකරණය හමුවේ පෙනී සිටීමට පැමිණෙමින් සිටියදී ඇති වූ ක්ලාන්තයක් හේතුවෙන් වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු කර ඇතැයි ජනාධිපති නීතිඥ අනුර මැද්දෙගොඩ මහතා, කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඊයේ (24) දන්වා සිටියේය. 
ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් ඊයේ (24) උදෑසන මහරගම අපේක්ෂා රෝහලට ගොස් ගිලන්ව සිටින ස්වාමීන් වහන්සේ නමක් බලා අධිකරණය වෙත පැමිණෙමින් සිටින අතරතුර අලුත්කඩේ අධිකරණය අසල ඇති පෙරේරා ඇන්ඩ් සන්ස් (P&S) අවන්හලින් ආහාර ගනිමින් සිටියදී ඇති වූ ක්ලාන්ත ගතියක් මත වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමුකළ බව ජනාධිපති නීතිඥ අනුර මැද්දෙගොඩ මහතා, කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් ළහිරු සිල්වා මහතා වෙත දන්වා සිටියේය.

ඒ හේතුවෙන් ඥානසාර හිමියන්ට ඊයේ (24) අධිකරණය හමුවේ පෙනී සිටීමට නොහැකි වන බවත්, උන්වහන්සේ සමග සිටි විහාරගල විජිත හිමියන් අධිකරණය හමුවේ පෙනී සිටිමින් දන්වා සිටියහ.

විත්තිකාර ඥානසාර හිමියන් වෙනුවෙන් නීතිඥ සංජීව ඇන්තනී, ජ්‍යෙෂ්ඨ නීතිඥ ගුණරත්න වන්නිනායක සමග පෙනී සිටි ජනාධිපති නීතිඥ අනුර මැද්දෙගොඩ යන මහත්වරුන් අධිකරණය හමුවේ කරුණු ඉදිරිපත් කළේය.

2016 ජූලි මස 08 වැනිදා හෝ ඊට ආසන්න දිනයක කිරුළපන පැවැති මාධ්‍ය හමුවකදී ඉස්ලාම් ආගම සම්බන්ධයෙන් කරන ලද ප්‍රකාශයකින් ආගමික සංහිඳියාව බිඳී යන ආකාරයෙන් කටයුතු කර ඇතැයි චෝදනා කරමින් කොළඹ අපරාධ කොට්ඨාසය විසින් ඥානසාර හිමියන්ට එරෙහිව කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ නඩු පවරා තිබුණි.

එම නඩුවේදී වැරදිකරු වූ විත්තිකාර ඥානසාර හිමියන්ට මාස 09ක ලිහිල් වැඩ සහිත සිර දඬුවමක් සහ රුපියල් 1500ක දඩ මුදලක් අධිකරණය විසින් නියම කර තිබුණි.

එම තීන්දුවට එරෙහිව ඥානසාර හිමියන් විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ නඩුවක් පවරා තිබෙන බව දන්වා සිටි ජනාධිපති නීතිඥ අනුර මැද්දෙගොඩ මහතා, එම නඩුව 2027 පෙබරවාරි 23 වැනිදා කැඳවීමට දින නියම කර තිබෙන බව දන්වා සිටියේය.

මෙම සිද්ධියට අදාළව දඬුවම් නියම කරමින් ඥානසාර හිමියන්ට එරෙහිව පවරා තිබෙන නඩුව ලබන මස 01 වැනිදා කැඳවන ලෙස කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් ලහිරු සිල්වා මහතා නියම කළේය.
Previous Post Next Post